පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කෝවුල් බිජු පුපුරන දාක
නංගියේ අම්මගේන් උඹ ඉල්ලනවද ගේම
තනේ
කඩා විසිකර පත්තිනි වේනම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන ඵල විස වී නම්
නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන්
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා
වැහෙන්නට පෙර උබෙ අයියාට
කතන්දර එපා වැදපන් අම්මට
දන්
කඳ නැතිදාට රන් කඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවෝ අණකර බණ පද එව්වා
මුචලින්දගෙ
ඇහේ නයි කඳුළක් නැටුවා
අපේ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා
රත් උන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත් උනු බඹරු ඉටි මල් පොකුරේත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සලුවලත් ඇත් තුත්තිරි තිබුණා
සතා කියා ඉදහිටකදි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත්ද
යකා වැහෙන්නට පෙර උඹේ අයියට
කතන්දර එපා වැදපන් අම්මාට
පුද්ගල ආත්මය සියුම්ව මෙන්ම රසකාමී ලෙස ස්පර්ශ කළ හැකි උත්තුංග කලා මාධ්‍යයක් ලෙස ගීතය හැඳින්වීමට හැකිය. “පොඩ්ඩියේ ගීතය” මෑතකාලීන ගීත සාහිත්‍ය
තුළ බිහිවූ අතිවිශිෂ්ට ගීත නිර්මාණයකි. රාජ්‍ය සම්මානලාභී ටිම්රාන් කීර්ති අතින් හැඩ වූ මෙම ගීතය සාදර බණ්ඩාරයන්ගේ
සියුම් නාද සංකලන මගින් නිර්මිත ගීයක් ලෙස සහෘද හදවත් තුළ ලැගුම්ගැනිණි. නව පරම්පරාවේ
ඉතාම සම්භාව්‍ය වගේ ම ගැඹුරු සමාජ
ප්‍රශ්නයක් ප්‍රස්තුතය කරගත් මෙම ගීතය සත්‍යය
කතාවක් ඇසුරින්
නිර්මාණය වූවකි. එකී සත්‍ය තුළින් සහෘදයන්ගේ චිත්ත චෛතසිකයන්
සංවේග කරවීමට සමත් වන්නේය.
“පොඩ්ඩියේ අම්මා
අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කෝවුල් බිජු පුපුරන දාක
නංගියේ අම්මගේන් උඹ ඉල්ලනවද ගේම”
අයියා කෙනෙකු තම ආදරණීය නැගණියට දෙන අවවාදයක් මගින් ආරම්භ වන මෙම ගීතයේ කථකයාගේ මව සමාජයේ සම්මතය මගින් පිළිගන්නා මවගේ ප්‍රතිරූපයට වඩා වෙනස් චරිතයකි. මාතෘත්වය කියූ පමණින් අපට සිහියට නැගෙන්නේ අපරිමිත වූ සෙනෙහස පුදන, කරුණා ගුණයෙන් යුත් අමිල වූ වස්තුවක් බවයි. එසේ වුවද ඇගේ වෘත්තීය භූමිකාව ගණිකාව වූ බැවින් සමාජයේ අපවාද මධ්‍යයෙ අවලංගු කාසියක් බවට ඇය පත්ව සිටී. ගීතය තුල ජීවමාන වන අයියා තම මව ගණිකාවක් බව දැන සිටිය ද ගීපද රචකයා පවසන පරිදි මේ නැගණිය ඒ බව දැනගන්නේ “බක්මහේ කෝවුල් බිජු පුපුරන දාක” එනම්, අප්‍රේල් මාසේ අලුත් අවුරුදු දිනයි. නංගිට සමාජයෙන් තම මව පිළිබඳ කන වැකෙන සිද්ධි හමුවේ ඇයට ආත්මසන්තාපයක් දැනෙන්නෙ තම මව ඇඟ විකුණා උපැයූ මුදල්වලින් ඔවුන් මෙතරම් කාලයක් ජීවත් වූවා යැයි කියාය. ඒ හමුවේ ඇයට දැනෙන වේදනාව, කෝපය හේතුවෙන් ඇය තම මව සමග ගැටුමක් ඇති කර ගනී. නමුදු අයියා තම නැගණියට අවවාද කරනු ලබන්නේ මවට එසේ කිරීමට සිදු වූයේ ඔවුන් දෙදෙනාව පෝෂණය කොට උස් මහත් කිරීමට සිදුවූ නිසා බවයි. ඉතින් ඇය වැරදි වන්නේ කෙසේදැයි කථකයා සිය නැගණියගෙන් ප්‍රශ්න කරයි. තම මව ගණිකාවක් වුවත් ඇය ඔවුන්ගේ අම්මා ම වන බවත් එලෙස කටයුතු කළ අම්මා සමග ගැටුමක් ඇති කර ගැනීමට ඔබ සැරසෙන්නේ ද යැයි අයියා තම නැගණියගෙන් විමසයි. ඒ බව “නංගියේ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම” යන ගී පද වැල මගින් සක්සුදක්සේ පැහැදිලි වේ . මෙහිදී ගී පද රචකයාගේ වචන භාවිතය පිළිබඳ කිව යුතුය “ගේම” වැනි පාරිභාෂික වචන සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී භාවිතා කරනු ලබන්නේ නූගත්, අසංවිධිත සමාජ මට්ටමක දිවි ගෙවන්නන් වේ. ගීතයේ ජීවමාන වූ අයියා එතරම් උගත් නොවුනද සංවේදී හදවතක් ඇති සමාජය පිළිබඳ විසල් අවබෝධයක් සහිත වූවෙකු බව පෙනේ. ගීතය තුළ වූ කතා වස්තුව ට පාදක වන සමාජ පසුබිම එක වචනයක් මගින් සියුම් ව හුවා දැක්වීමට ගී පද රචකයා සමත් වේ.
“තනේ කඩා විසිකර පත්තිනි වේනම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන ඵල විස වී නම්
නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන්”
ගී පද රචකයා මෙහිදී පත්තිනි සළඹ කතා පුවත
ගෙන හැර දක්වයි. එහි එන පත්තිනි තමන්ගේ තනය ගලවා බිම ඇණ ඇයගේ පතිව්‍රතාව ඔප්පුකර
පෙන් වූ අවස්ථාවේ මුළු පඬි පුරයම ගිනිගෙන දැවුණු බව සඳහන් වේ. කථකයා පවසන
ආකාරයට නංගියෙ, මේ කෲර සමාජ ඉදිරියේ අපේ
අම්මත් පතිව්‍රතාව රැක්කා නම් අපි අද කුසගින්නේ
මැරිලා නංගියේ මෙච්චර කාලයක් උඹට කන්න දීපුවා විසයි කියලා දැනෙනවනම් අම්මගේ චරිතය
පිළිබඳ පිළිකුලක් තිබෙනවානම් අම්මගේ හිත පාරන් නැතිව තම අම්මාව ඒ සමාජ තත්වයට යොමු කළා වූ සමාජයට
ගිහින් බැනපන් ඒ සමාජය විනාශ කරපන් යැයි කථකයා සිය
නැගණියට පවසයි. මෙහිදී ගීතය තුල ඔවුන් ජීවත් වූ සමාජය එදා පඬිපුරයට සමාන කර පවතී.
“සතා කියා ඉඳහිටක දි
ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උබෙ අයියාට
කතන්දර එපා වැදපන් අම්මට”…….
කථකයා සඳහන් කරනු ලබන්නේ සමාජයෙන් තම මවට ආමන්ත්‍රණය කරන්නේ “සතා” නැමැති පහත් නපුරු
වචනවලින් බවයි. එලෙස
ඇයට කතා
හදන්නේ ඇගේ පහස ලැබූ අශිෂ්ට සමාජයේ සිටින අශිෂ්ට පුද්ගලයන්ම වේ. සමාජය ඉදිරියේ තමා සුචරිතවාදී බව පෙන්නුම්
කරන්නට උත්සාහ කරන බොහොමයක් බෝසත් චරිත වල පවතින්නේ කළු චරිත ගුණාංග
බව කථකයා තම නැගණියට තේරුම් කිරීමට උත්සාහ කරයි. නමුත් කෙසේ කීවත් තම
නැගණිය අවබෝධ කර නොගන්නා තැන කථකයා සැර පරුෂ ලෙස නැගණිය අමතා ප්‍රකාශ
කරන්නේ ඔහුට යකා වැහෙන්නට පෙර අම්මට වඳින ලෙසයි. මෙහිදී ගි පද කරුවා යොදාගෙන ඇති “කතන්දර එපා” යන වචනය වර්තමාන සමාජය
තුල නිරන්තරයෙන් ම භාවිත වන පාරිභාෂික වචනයකි. ඒ වචනය මගින් ඉතාමත්
ලස්සනට අයියාගේ ප්‍රකාශය නංගිගේ මෙන්ම සහෘද හදවත් තදින්ම ස්පර්ශ කිරීමට සමත් වෙ. මෙම ගීතයේ මුල්
පද පේලි වල තවරලා තිබෙන්නේ අයියා කෙනෙකු තම නැගණියට ලබාදෙන්න වූ අවවාදාත්මක ප්‍රකාශනයන් වෙ.
“දන් කඳ නැතිදාට රන් කඳ වී පෙනිලා”
ගීතයේ බොහෝදෙනෙකුගේ අවධානය දිනා ගත්තා වූ
ආන්දෝලනාත්මක ගී පද පේළිය වන්නේ මෙයයි. දන්පැන් දීම සඳහා මිනිසා තුළ ඇත්තේ හුදු කැමැත්තකි. කථකයාගේ මාව
ද එසේ වුවත් තම ස්වාමිපුරුෂයා අහිමි වීමත්
සමගම තමන්ගේ බිඳවැටුන ආර්ථිකය හමුවේ ඇය තම දරුවන්ව පෝෂණය කරනු ලබන්නේ පියෙකු ගේ
චරිතයට පවා පණ පොවමිනි. ගරාවැටුණු ආර්ථිකය හේතුවෙන් උග්‍ර දිළිඳු භාවයකට පත්වන ඇය
ගණිකා වෘත්තියට පෙළඹෙයි. ඉන්පසු ඇය පන්සලට දානය ලබාදීමෙන් වළකින්නේ ඒ පිළිබඳ ඇය
තුළ ආත්මතෘප්තියක් නොවුණු බැවිනි. සමාජයේ මිනිසුන් ඇයව පිළිකුල් කොට අපවාද නගන්නට පෙළඹුන
නිසා ඇය පන්සල සමඟ පැවති සම්බන්ධතා නවතා පන්සල් යාම නතර කරන ලදී. කථකයා මෙහිදී
ඉදිරිපත් කරන “ දන් කඳ නැති දාට” යන අර්ථය ඇය
පන්සලෙන් ඈත් වීම පිළිබිඹු කරයි. “රන් කඳ වී පෙනිලා” යන්නෙහි
අර්ථය ඇය දැන් පන්සල් යන්නේ නැති නිසා ඇය උපාසිකාවක්
නොවේ. එනම් ඇය පිං කඳක් නොවේ. සමාජය හමුවේ ඇය දැන් රන්
කඳක් බවට පත්ව ඇත. කෲර සමාජය ඇයව දැන්
පිළිගනු ලබන්නේ කාමාතුර මිනිස්සුන්ට පහස
ලබා දෙන ස්ත්‍රියක් හෙවත් රන් කඳක් ලෙස බව ගී පදකරුවා සහෘද හදවත් වලට විවරණය කරන
දෙනු ලබයි.
“ලොකු හාමුදුරුවෝ අණකර
බණ පද එව්වා”
මෙහිදී කථකයා ලොකු හාමුදුරුවෝ යන්නෙන් ව්‍යංගාර්ථවත්
ලෙස ගම්‍යමාන කර ඇත්තේ සමාජයේ ඉහළ පැළැන්තියේ උදවියයි. ලොකු හාමුදුරුවෝ
පදය තුළින් පිළිබිඹු කරන්නේ පන්සලේ හාමුදුරුවෝ ඇතුළු ආරච්චිල, හාමුලා ආදී
පිරිස් වේ. ඔවුන් සුචරිතවාදී පුද්ගලයන් ලෙස සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය
වුවද ඇත්තටම ඔවුන්ගේ එම චරිත තුළ සුදු චරිත ලක්ෂණවලට වඩා කළු චරිත ලක්ෂණ පවතින බව
ඉදිරිපත් කරයි. ලොකු හාමුදුරුවෝ යන වචනය ලාංකීය ජනයාට වඩාත් සමීප සුදු චරිත ලක්ෂණ පවතින පාරිභාෂිත වචනයකි. සමාජයේ ඉහළ
පැලැන්තියේ උදවියගේ නොමනා ක්‍රියාවන් වලට තම
මව යොදවාගත් බව කථකයා ගී පදවැල් තුළින් ගම්‍යමාන
කිරීමට උත්සාහ දරයි.
“මුචලින්දගෙ ඇහේ නයි
කඳුළක් නැටුවා”
සමාජයේ උසස් ,යහපත් යැයි සම්මත ඉහළ පැළැන්තියේ සුදු ඇඳගෙන ඉන්න චරිත
සමාජය අනෙක් පුද්ගලයන් වෙත සිදු කරන නොමනා වැඩ කටයුතු, පුද්ගලයන් පාවිච්චි කරන ආකාරය දැක අජීවී
වස්තුවක් වන මුචලින්ද පවා සංවේදී වී කඳුළු හෙලූ බව ගීපදකරුවා දක්වයි. එමගින් ඔහු කීමට උත්සාහ දරන්නේ අජීවී
වස්තූන් වලින් පවා කඳුළු වැටෙන තරම් සමාජය අශිෂ්ට වී ඇති බවයි.
“අපේ අම්මා බණ කතාවක්
බුදුගෙයි ලිව්වා”
මෙහිදී ගී පද රචකයා යොදා ගෙන ඇති “බුදුගේ” යන පදය පවිත්‍රත්වය
සංකේතවත් කරයි .ආගමික ස්ථානවල මෙන්ම
සමාජයේ උසස් පැලැන්ති වල සුදු යැයි ඉස්මතු කිරීමට උත්සාහ ගන්න පුද්ගල චරිත වල
අශිෂ්ට බව මතුකර පෙන්වීමට කථකයා මෙම සංකේත රූපය භාවිත කරයි. මේ පද පේලි අතරේ
ආන්දෝලනාත්මක ලෙස සුදු චරිත වල පවතින කළු ස්වභාවය පෙන්නුම් කිරීමට ගීපදකරුවා
විශිෂ්ට දස්කමක් දක්වයි.
“රත් උන යකඩ ලෝකුරු
ගෑනුත් තැලුවා”
කාමයෙන් මත් වු මිනිසුන්ගේ රාගික බව පෙන්වීම
සඳහා ගී පදකරුවා අපූර්ව වූ සංකේතයක් ලෙස ගින්න යොදාගෙන ඇත්තේ එහි ප්‍රබල බව පෙන්වීමටයි. මෙවැනි
මිනිසුන් වෙසෙන සමාජයක ඒ සඳහා පහස ලබාදීමට හැකි වන්නේ එවැනිම වූ ෛවශ්‍යාවි
කාන්තාවකට වේ. එම සංසිද්ධිය හුවාදැක්වීමට උක්ත පද පේළිය
සමර්ථ වේ.
“මත් උනු බඹරු ඉටි මල් පොකුරේත් වැහුවා”
රාග ගින්නෙන් මත් වූ පුද්ගලයන් තම ආශාවන් සංසිදුවා ගැනීමට යොදා
ගන්නා ස්ත්‍රිය කෙරෙහි තැකීමක් නොකරයි. ඇයගේ මානසික
සංවේදනයන්, ආශාවන් ,හැඟීම් මෙන්ම ඇගේ වයස් සීමාව පවා නොතකා තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට
හැකිතාක් උත්සාහ දරයි.
මෙහිදී කවියා
යොදන “ඉටි මල් පොකුර “යන වචනයෙන් ව්‍යංගාර්ථවත්
කරනු ලබන්නේ ඇය තරමක් මහළු කාන්තාවක් බවයි.
“ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා”
ඇත්තටම මේ ලෝකෙ ගැන ඔබ දන්නේ මොනවද නංගියෙ
මේ ලෝකෙ උඹ සිතන තරම් සුන්දර නැති බව කථකයා සිය නැගණියට පවසයි. සමාජය
ඉදිරියේ සුචරිතවාදී ලෙස පෙනී සිටින බොහොමයක් පුද්ගලයන් රහසේම පාපතර කාර්යයන් වල නියැලෙන බව ද එවැනි චරිත වල පවතින කැලැල් ද රාශියකි. එසේ කටයුතු
කරන ලෝකයක් ගැන සිය නැගණියට අවබෝධයක් නොමැති බව කථකයා පසක් කර ප්‍රශ්න නඟයි.
“පත්තිනි සලුවලත් ඇත්
තුත්තිරි තිබුණා”
ගී පදකරුවා මෙහිදී යොදාගෙන ඇති “ඇත්” යන වචනය මගින් සංකේත කරනු ලබන්නේ කථකයා ගේ මව
ගණිකාවක් වුවත් ඇයටත් වඩා බොහෝසෙයින් වැරදි කරන මිනිසුන් ඇගේ වැරදි සෙව් බව ඇගයීමටයි. අයියා තම නැගණියට අවවාද කරනු ලබන්නේ නංගියේ
උඹට මේ කෲර ,අශිෂ්ට සමාජයේ පුද්ගලයන් ගැන අවබෝධයක් නෑ ඒ නිසා අම්මට
දොස් නගන්න ඇතිව ඇයව පිළිකුල් නොකර ඇගේ දෙපා වඳින ලෙසටයි.
මෙම ගීතය වෙනස්ම ආකාරයෙන් ලියවුන මව් ගුණ
ගීතයක් වන අතර මුළු ගීතය පුරාවටම තවරා ඇත්තේ
අශිෂ්ට සමාජයක් ඉදිරියේ වැරදිකාරියක් බවට පත්වූ තම අම්මා පිලිබඳව වෛරයක්, ද්වේෂයක්
ඇතිකර නොගන්නා බවට අයියා කෙනෙකු තම නැගණියට ලබාදෙන්නා වූ අවවාදාත්මක ස්වරූපයයි. ඉතාමත්
සංවේදී ලෙස සහෘද හදවත් ස්පර්ශ කරන, වර්තමාන සමාජයේ වූ තවත් එක් යථාර්ථයක් ඉස්මතු
කරන ලද සාර්ථක විශිෂ්ට ගීයක් ලෙස “පොඩ්ඩියේ” ගීතය හැඳින්වීමට හැකිය.
👍❤️
ReplyDeletegood..
ReplyDelete👍👍👍
ReplyDeleteඅශිෂ්ට සමාජයක මවකගෙ නිරුවත දෙස නිවැරදිව බලා ඒ පිළිබඳව අර්ථකතනය කර ඇත.කෙතරම් වැරදි කළද,සමාජය ඉදිරියේ නිරුවත් උවද තම දරුවන් අභියස ඇයගෙ නිරුවත මුදා හරින්නෙ සැබෑම වු අපරිමිත් සෙනෙහසකිනි.ඒ ස්නේහය කුමන බාදක හමුවේද නිසැකයෙන්ම ජය ගනු ඇත්...
ReplyDeleteWow
DeleteLassnai🖤
ReplyDelete❤️❤️
ReplyDeleteමාතෘත්වය පිළිබඳ අපූරු පදපෙලක් වගේම.ඒකට හොද රසවින්දනයක් කරලා තියෙනවා.
ReplyDelete❤👍
ReplyDeleteසමාජය පුරාවට වදදෙන ප්‍රශ්නයක්. දකින වෙනස් කෝනයක් නිහතමානීව නිර්මානය කර චින්තනය වෙනත් පැති කඩක් තුලට ගෙනයාමට දැරූ උත්සහයක්
ReplyDeleteSuperb❤️
ReplyDelete🌹😍❤️❤️👌
ReplyDeleteBest 😍♥️
ReplyDeleteWow
ReplyDeleteWowwwwwww
ReplyDeleteප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්...ඒක ප්‍රශ්නයක් නෙවේ..මේකත් ඒ වගේ...ගැරහීම විතරක්ම ඉතුරුවෙච්ච😒
ReplyDeleteඒක මරු 😍
ReplyDeleteඅම්මා කුමන විග්‍රහයකින් ලඝු කිරීමට උත්සාහ කළත් එය නිශ්පන්‍යයි.
ReplyDelete😍❤️
ReplyDelete♥️♥️♥️
ReplyDelete♥️👌
ReplyDeleteFt👌
ReplyDelete👍👍👍
ReplyDelete❤❤❤
ReplyDelete👍👍👍❤️👍
ReplyDelete👌👌👌👌❤️
ReplyDeletePost a Comment