දැන්වීම්කරණය යනු..?


දැන්වීම්කරණය හෙවත් වෙළඳ ප්‍රචාරණය සන්නිවේදන ක්‍රමයකි. එය අදාල පාරිභෝගිකයා විසින් භාණ්ඩය හා සේවාව ලබා ගන්නා ආකාරය හා එය පාවිච්චි කරන ආකාරය සම්බන්ධව සිදු කෙරෙන දැනුවත් කිරිමකි. සමහර වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ වෙළෙඳ නාමය ගැන විශ්වාසනීයත්වයක් උපදමිනි. එමගින් ඒවා පරි‍භෝජනය වැඩිදියුණු කරවිමට හැකි බැවිනි. මේ අරමුණ ඉටුකරගැනීම උදෙසා සැබෑ කරුණු මෙන්ම පොළඹවන සුළු පණිවිඩද, වෙළෙඳ දැන්වීම්වල අන්තර්ගතවේ.

 

දැන්වීම්කරණය හෙවත් වෙලද ප්‍රචාරණය පිළිබද ඇමරිකානු දැන්වීම් සංගමයේ හිටපු සභාපති ෆෙඩ්රික්  ආර් . ගැම්බෙල් මහතා දක්වන්නේ නිෂ්පාදන බෙදා හැරීමේ යාන්ත්‍රණයේ ප්‍රධාන දෙය නම් දැන්වීමයි.එය අඩු විදමකින් බොහෝ මිනිසුන් වෙත ළගා වෙයි. වශයෙනී.එමෙන්ම පිලිප් කොට්ලර් දක්වන්නේ දැන්වීම්කරණය යනු හදුනාගත් අනුග්‍රාහකයෙකු විසින් පෞද්ගලික දැනුම්දීම හා පුද්ගලික නොවන ඉදිරිපත් කිරීම් හා ප්‍රවර්ධන කිරීම් සදහා අදහස් භාණ්ඩ හෝ සේවාවන් ප්‍රවර්ධනය කරන ඕනෑම ‍ගෙවීම් ක්‍රමයක් බවයි. එක්සත් රාජධානියේ වෙළද ප්‍රචාරණ සංගමයට අනුව වෙළද දැන්වීම් යනු කවර හෝ පුද්ගලයෙකුට දැනුම් දිම හා එසේත් නොමැති නම් බලපෑම්කිරීමට විශේෂයෙන් අදහස් කරන ඕනෑම සන්නිවේදන ක්‍රමයන් බවයි.

 

                  සමාජය තුළ දැන්වීම්කරණය ගොඩ නැගෙන්නේ ආයතන අතර පවතින තරගකාරීත්වය හේතු කොටගෙනය. එසේත් නොමැති නම් එකම වර්ගයේ භාණ්ඩ විවිධ නම් වලින් විවිධ වෙළද සමාගම් විවිධ වෙළද නාම යටතේ ඉදිරිපත් කරන විට ඒ ඒ භාණ්ඩය සදහා ඉලක්ක පාරිභෝගිකයාට එය ග්‍රහණය කර ගැනීම සදහා ය.

 

  දැන්වීම්කරණය තුලින් බලාපලාපොරොත්තු වන ප්‍රධාන කාරණා කිහිපයක් හඳුනාගත හැකිය.

 

* නව භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ ජනතාවට හඳුන්වාදීම.

* භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචාරණය කිරීම.

* වෙනත් නිෂ්පාදනයන්ට වඩා තම භාණ්ඩයේ හෝ සේවාවන්ගේ ඇති විශේෂතා, වාසි සහගත බව පෙන්වීම.

* පාරිභෝගික අවශ්‍යතා නිර්මාණය කිරීම හා ඒ ඔස්සේ තම නිෂ්පාදනයන් අලෙවි කිරීම.

* පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමට පහසු කර කරවීම.

* පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීම.

* ආයතනවල ප්‍රතිරූපය වර්ධනය කරගැනීම.

* ජනතාවට තොරතුරු, සංදේශ සන්නිවේදනය කිරීම.



මීට අමතරව දැන්වීම්කරණයේ මුලික ලක්ෂන කිහිපයක් හදුනාගත හැකිය.

 01.  දැන්වීමක් යනු මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන සන්නිවේදනයකී.

02.  දැන්වීමක අනුග්‍රාහකයා නිශ්චිතවම හදුනාගත හැකිය.

03. දැන්වීමක් සෑම විටම ස්වකීය ඉලක්ක පාරිභෝගිකයා භාණ්ඩ හෝ සේවා වෙත  පෙළඹවීමට හෝ යොමු  කිරීමට උත්සාහ කරයි.

04.  සෑම විටම දැන්වීමක් ජනමාධ්‍ය ඔස්සේ ජනගත කිරීමට ක්‍රියාත්මක වේ.

 

 

ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණය

  නවීන දැන්වීම්කරණ ක්‍රමවේදයන් ලොව පහළ වීමට පෙර එක් එක් යුගයේ ඊට ආවේණික වූ විවිධාකාරයේ ප්‍රාථමික දැන්වීම් ක්‍රමවේද භාවිත කළ බවට ඉතිහාසය පුරාවට සාක්ෂි දක්වයි. ලාංකීය දැන්වීම් ඉතිහාසය පුරාවට ද එක් එක් යුගයන්ට අදාළ විවිධාකාර දැන්වීම්කරණ ක්‍රමවේද හඳුනාගත හැකිය. ඒ අනුව ලාංකීය දැන්වීම්කරණ කලාවට අදාල ඉතිහාසය විමසීමේ දී දැන්වීම්කරණය හා බද්ධ වූ ප්‍රබල දැන්වීම් ක්‍රමයක් අපට හඳුනාගත හැකි අතර ඒ රජවාසල පණිවිඩ හා දැන්වීම් රටවැසියාට සන්නිවේදනය කළ අඬබෙරයයි. මෙම දැන්වීම් ක්‍රමය කොතෙක් දුරට සාර්ථක වීද යත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ අගක් වනතුරුම අඬබෙරකරුගේ සේවය පාලකයින් විසින් ලබාගත් අවස්ථා පැවතිණි. පැරණි ලාංකීය සමාජය තුල දැන්වීම් ක්‍රමවේදයක් වූයේ දැන්වීම් පුවරුවයි. පාලකයන් ජනතාවට තොරතුරු දැන්වීමටත්, නියෝග නිකුත් කිරීමටත්, දැන්වීම් පුවරු හා ශිලා ලිපි ආදිය භාවිත කරන ලදී. බදුලු ටැම් ලිපිය, ගල්පොත ලිපිය ආදිය නිදසුන් ලෙස දැක්විය හැක. මේ අනුව ලාංකීය ඉතිහාසයේ අද තරම් දියුණු සංකීර්ණ දැන්වීම්කරණ ක්‍රමවේද යොදා නොගත්තද, එදා යුගයට ගැළපෙන පරිදි දැන්වීම්කරණ ක්‍රමයන් යොදාගෙන ඇති බවට පැහැදිලි වේ.

 

         ලංකාවේ නූතන දැන්වීම්කරණයේ ආරම්භක අවස්ථාව ලෙසට හඳුනාගත හැක්කේ ලන්දේසීන් විසින් මුද්‍රණ යන්ත්‍රය ලාංකීය සමාජයට හඳුන්වා දීමයි. ඔවුන් මුලින්ම මුද්‍රණ යන්ත්‍රයේ ආධාරයෙන් ප්ලැකාර්ඞ් නම් රාජ්‍ය දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. ලංකාව තුල දැන්වීම්කරණ ක්‍රමවේදයේ නව මං පෙතක් ඇති කිරිමට ලන්දේසීන්ගේ මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීම හේතු වුවද දැන්වීම් කලාවට නව පණක් නව මුහුණුවරකින් ලබාදීමට සමත් වූයේ ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමග යැයි කීම නිවැරැදිය. සංවිධානාත්මකව දැන්වීම්කරණය සඳහා මුද්‍රණය වූ ප්‍රථම පුවත්පත වූ "Colombo Journal" ප්‍රකාශයට පත් වන්නේ ඉංග්‍රීසි පාලන සමයේදීය. එහි වැවිලිකරුවන්ට අවශ්‍ය තොරතුරු හා කේෂ්ත්‍රයට අදාළ හා රජයේ දැන්වීම් පළ කෙරිණි. මුල් කාලීන ලාංකීය පුවත්පත් අන්තර්ගතය තුල දැන්වීම් සඳහා ප්‍රධාන තැනක් හා වැඩි ඉඩක් ලබා දී තිබිණි. ඒවා සෘජු දැන්වීම් විය. කෙසේ වෙතත් මෙකී සරල ආකෘතියෙන් ඇරඹී පුවත්පත් දැන්වීම් විසිවන සියවස එළඹීමත් සමග වෙළෙඳ දැන්වීම්කරණය සමග ක්‍රමිකව දියුණු විය. එහිදී මූලික ආකෘතියෙන් වෙනස් වී අන්තර්ගතයට රූපයන් පවා එකතු විය.

 

         තව ද මෙකල දැන්වීම්කරණ කලාවේ දියුණුවට හේතු වූ සාධකයක් ලෙස විදේශීය සමාගම් තම නිෂ්පාදන දේශීය වෙළඳපලේ අලෙවි කිරීමත් සමග අන්තර්ජාතික දැන්වීම්කරණ ආකෘතිවල ආභාෂය දේශීය දැන්වීම්කරණ ක්ෂේත්‍රයට ඇතුළු වීම දැක්විය හැකිය.

 

             1951 පිහිටුවන ලද වෙළඳ සේවය සමඟ දැන්වීම්කරණය තවදුරටත් වර්ධනය වන්නට විය. මන්ද මේ තුළින් වෙළඳ දැන්වීම්කරණයට මග පෑදුණු අතර ගුවන් විදුලි මාධ්‍ය භූගෝලීය හා සාක්ෂරතා මායිම් බිඳගෙන ඉදිරියට ඒම එය වඩාත් ජනප්‍රිය වන්නට හේතුව විය. ඒ අනුව එතෙක් කල් මුද්‍රණයට පමණක් සීමා වී තිබූ දැන්වීම්කරණය ගුවන්විදුලි මාධ්‍යයට ව්‍යාප්ත විය. ලාංකීය දැන්වීම්කරණයේ විකාශනය තුළ සුවිශේෂී සංධිස්ථානයක් වන්නේ ඔස්ටේ්‍රලියානු ජාතිකයන් විසින් International Advertiser නමින් ගුවන්විදුලියේ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කිරීමයි.

 

            ලාංකීය දැන්වීම්කරණ විකාශනයේ නිර්මාණශීලීම යුගය උදාවන්නේ 1979 ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට රූපවාහිනිය පැමිණීමත් සමගය. අනතුරුව පෞද්ගලික මාධ්‍ය ජාල ආරම්භ වීමත් සමග තරඟකාරී සංකීර්ණ දැන්වීම් කලාවක් ලංකාව තුළ නිර්මාණය විය. විශේෂයෙන් ජනමාධ්‍ය හා අන්තර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් සමග අද වන විට ලාංකීය දැන්වීම්කරණය නිර්මාණශීලී, සංකීර්ණ පුළුල් පරාසයක විහිදී ගිය කර්මාන්තයක් බවට පත්ව ඇත. හුදෙක්ම ලාංකීය දැන්වීම්කරණය ජනමාධ්‍ය පැවැත්ම තීරණය කරන, ආර්ථික බලවේගයන් හසුරුවන ප්‍රධාන ව්‍යාපාරයක්, වෘත්තියක් දක්වා වර්ධනය වී ඇති බව හඳුනාගත හැකිය.

 

6 Comments

Post a Comment

Previous Post Next Post