මනරම් සොකරි නාටකයේ තතු



සොකරි

සොකරි නාටකය එහි ප්‍රධාන චරිතයේ නමින්ම හඳුන්වනු ලබයි. බොහෝවිට සොකරි නාටකය දක්නට ලැබෙනුයේ උඩරට ප්‍රදේශ වලදී ය. වන්නි ප්‍රදේශයේ, සතර කෝරලයේ ඇතැම් ප්‍රදේශ වලද දක්නට නැතුවා නොවේ. වර්තමාන සොකරි නාටකය හඟුරන්කෙත, හේවාහැට, මාතලේ, දඹුල්ල, කළුංදෑව, කොනකගල යන ප්‍රදේශ වල දක්නට ඇත. නාගරිකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සොකරි නාටකය ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.

 

රංගභූමිය හා සැරසිලි

මෙහිදී රංගභූමිය ලෙස බොහෝ විට යොදා ගන්නේ කමතයි. මෙය කවාකාර රඟ මඬලකි. ප්‍රේක්ෂකයාට නිදහසේ බිම වාඩිවී නාටකය නැරඹිය හැකි ලෙස රඟ මඬල සකස් කෙරේ. රංගභූමිය පිටුපසින් කෙසෙල් පතුරු වලින් සාදා ගොක් කොල කැටයමින් අලංකාර කල මල් යහනක් ඉදිකෙරේ.

 

නාටකයේ අරමුණ

ප්‍රාධාන අරමුණ ලෙස විනෝදාස්වාදය ලබා ගැනීම සඳහන් කල හැකි අතර සොකරි නාටකයේ පූජා ක්‍රමයක්ද ඇති බව පෙනෙන හෙයින් දෙවි දේවතාවුන් සතුටු කර ඔවුන් පිනවා සරුසාර අස්වැන්නක් ලබා ගැනීම ද්වීතියික අරමුණ ලෙස ගත හැක.

 

වාද්‍ය භාණ්ඩ

ගැටබෙරය හෙවත් මගුල් බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වේ. එනමුත් ඇතැම් පලාත්වල (බදුල්ල ) දවුල ද වන්නි ප්‍රදේශයේදී උඩැක්කියද යොදා ගැනේ.

 

පූජා ලබන මූලික දෙවිවරු

පූජා ලබන මූලික දෙවිවරු ලෙස පත්තිනි දේවිය හා කතරගම දෙවියන් දැක්විය හැක.

 

සොකරි පුරා වෘත්තය

කසී රටෙන් පැමිනි ගුරුහාමි නමැති ආඬි ගුරාගේ බිරිඳ වූ සොකරි ඉතා රූමත් කාන්තාවකි. ඔවුන්ග සේවකයා පරයා නමි. ගුරුහාමි, සොකරි හා පරයා නැව් නැඟ ලංකාවට පැමිණ, තඹරාවිට නම් ගමේ පැලක් සාදා ගනී. සිංහල බස නොදැනීම නිසා පැලක් අටවා ගැනීම ඉතා අපහසු කාරියක් වු නමුත් සේවකයා වූ පරයාගේ කපටිකම, දක්ෂකම හා මුඛරිකම නිසාවෙන් ඒ කාරිය අපහසුවකින් තොරව ඉටු කෙරේ.

ගුරුහාමි ගමේ ඇවිද සහල් ගෙනැවිත් බිරිඳ සොකරිට දෙයි. පසුව එය පිසීම සඳහා ජලය සොයා ගැනීමේ කාරිය ද ගුරුහාමිට පැවරෙයි. ජලය සොයා යන ගමනේදී බල්ලෙකු විසින් ගුරුහාමිව සපා කමු ලබයි. මින් බලවත් ලෙස රෝගාතුර වන ගුරුහමි මියා ගියායැයි සිතන පරයා සොකරි තමා වෙත නම්මවා ගැනීමට උත්සාහ දරනු ලබයි.

 

කෝපයට පත්වන සොකරි වෙදරාළ කැඳවාගෙන එන්නට පරය පිටත් කර හරී. පරයා වෙදරාළට කොපමන ඇවටිලි කලත් සොකරි විසින්ම ආරාධනා කරන තූරු වෙදරාළ නොපැමිනෙයි.

 

කීපදිනක් ගුරුහාමිට වෙදකම් කරමින් සිටින වෙදරාළ සොකරි සමඟ හාද වී එක් රාත්‍රියක ඈ සමඟ පැන රහසේ පැන යයි. ශෝකයට පත් ගුරුහාමි කතරගම දෙවියන්ට සොකරි ආපසු ලබාදෙන ලෙස ඉල්ලා භාරයක් වෙයි.

 

කතරගම දෙවියන්ගේ බලයෙන් පිහිටෙන් සොකරි ඉන්නා තැන දැනගන්නා ගුරුහාමි සොකරි කැඳවා ගෙන විත් ඈ කල නොමනා ක්‍රියාවට ඇයට දඬුවම් දෙනු ලබයි.

 

තමා වෙදරාළ සමඟ ගියේ ස්වකැමැත්තෙන් නොව වෙදරාළ විසින් දුන් ඉනා බෙහෙතක් නිසාවෙන් යැයි සොකරි තම නිදහසට කරුනු ගෙන හැර දක්වයි. සෙට තැලීමෙන් තම කෝපය නිවා ගන්නා ගුරුහාමි පසුව ඇයට සමාව දෙනු ලබයි.

කලකට පසු සොකරි දරුවෙකු වදන අතර ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන බව අඟවමින් නාටකය නිමාවට පත්වේ . ..

 

සොකරි නාටකයේ චරිත

සොකරි

ගුරුහාමි

තඹරාවිට වෙදරාළ

පරයා

හෙට්ටියා

කාලි අම්මා

සොත්තානා

වඩුරාළ

කපුරාළ

 

පිරිමින් විසින්ම පමනක් මේ නාටකයේ සියළුම චරිත රඟ දැක්වීම මෙහි ඇති විශේෂිතම ලක්ෂනයයි . .

18 Comments

Post a Comment

Previous Post Next Post